ශ්‍රී ලංකාවේ ජී.එස්.පී. බදු සහනය නැවත ලබාදීමට එරෙහිව යුරෝපානු පාර්ලිමේන්තු කණ්ඩායමක් විසින් යුරෝපා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.
ශ්‍රි ලංකාව තුළ මේ වන විටත් මානව හිමිකම් ඇතුළු ප්‍රධානතම අංශ කිහිපයක වර්ධනය ඉතා අවම මට්ටමක පවතින බවත් ඒ පිළිබඳව කිසිසේත්ම සතුටු විය නොහැකි බවත් මෙම යෝජනාවේ සඳහන්ව ඇත.
මෙම නව යෝජනාව පිළිබඳව යුරෝපානු පාර්ලිමේන්තුව ලබන සතියේදී සලකා බැලීමට නියමිත අතර, එහිදී එම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වුවහොත් ශ්‍රී ලංකාවට නැවත ජී.එස්.පී. බදු සහනය නොලැබි යාමේ අවදානමක් පවතින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම යෝජනාව සම්මත වීමට නම් යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 751 දෙනාගෙන් 356 දෙනකුගේ සහාය ඊට ලබාගත යුතුය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතද ශ්‍රී ලංකා තුළ ක්‍රියාත්මක වන බවත් කම්කරු අයිතීන් පිළිබඳවද මෙරට තුළ ගැටලු ඇති බවත් මෙම යෝජනාව පෙන්වා දී ඇත.
මූලික ඇගයීම්වලින් පසු මෙම ජී.එස්.පී. බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබාදිය යුතු බව යුරෝපා කොමිසම මීට පෙර නිර්දේශ කළද එම නිර්දේශයට විරුද්ධත්වය දැක්වීම සඳහා යුරෝපා කවුන්සිලයට හා යුරෝපා පාර්ලිමේන්තුවට ලබන මැයි 15 දක්වා කාලය ලබාදී ඇත.