ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන සිදුකිරීම ‍සඳහා මෙය සුදුසුම කාලය බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු කෙනිචි සුගනුමා මහතා පැවසීය. ඒෂියා කැපිටල් පීඑල්සී විසින් ජපානයේ Belluna Co. Ltd සමග එක්ව දියත් කරනු ලබන ‘Luna Tower – Four Four Seven’ සුපිරි මහල් නිවාස සංකීර්ණයේ සමාරම්භය සඳහා එක්වෙමින් ජපාන තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජපාන තානාපතිවරයා,
“මෙය කොළඹ නගරය තුළ ජපාන සමාගමක් සිදුකරනු ලබන පළමු විශාල ආයෝජන ව්‍යාපෘතිය යි. ජපානය හා ශ්‍රී ලංකාව අතර නිරන්තරයෙන් ඉතා හොඳ සම්බන්ධතාවයක් තිබෙනවා. වත්මන් සභාග රජය සමඟ අපගේ සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරන්න අපි පියවර ගන්නවා.“

“ශ්‍රී ලංකාව තවදුරටත් වැඩි වශයෙන් විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උත්සාහ දරනවා. ජපානයත් ඒ අතර සිටිනවා. ශ්‍රී ලංකාව පිළිබඳ අපි වඩාත් ශුභදායී ලෙස අවධානය යොමුකරනවා. ශ්‍රී ලංකාව කලාපයේ මධ්‍යස්ථානයක්. පසුගිය වසරේ ඔක්තෝබරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සංචාරයක නිරත වුණා. මේ වසරේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා G7 සමුළුව සඳහා ජපානයට පැමිණියා.“

“නව ආයෝජන ඇරඹීම සඳහා කාලය ඉතා හොඳයි. පරිසරයත් ඉතා හොඳයි. මෙම ව්‍යාපෘතිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.“

කොළඹ 02 යූනියන් පෙදෙසේ ඉදිවන මෙම ව්‍යාපෘති ඇමරිකානු ඩොලර් මිලියන 50 ක හෙවත් රුපියල් බිලියන 7.3 ක ව්‍යාපෘතියකි. මහල් 42 කින් යුතු මෙම සංකීර්ණය රුපියල් මිලියන 35 සිට රුපියල් මිලියන 140 දක්වා වන පරිදි මිල පරාසයන්ගෙන් යුතු කාමර 2/3/4 යනාදී වශයෙන් ඒකක 200 කින් සමන්විත වේ.

2019 ඔක්තෝබර් මාසයේ දී මෙම ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමට නියමිතය.