විදේශ දූත මණ්ඩල සේවයේ සිටින නිලධාරීන් පුහුණුව සඳහා ලබන වසරේදී මෙරටට ගෙන්වා ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත් සිකුරාදා (18) ප්‍රකාශ කළේය.ලෝකය සමග සටන් කිරීමට ප්‍රමාණවත් දැනුමක් නොමැති නිසා මේ පිරිස ගෙන්වන බවත්, සමහර නිලධාරීන්ට රටේ විදෙස් ප්‍රතිපත්තිය කුමක්ද යන්න ගැන අවබෝධයක් නැති නිලධාරීන් විදෙස් දූත සේවයේ සිටින බවත් අගමැතිවරයා කීවේය.
විදේශ දූත සේවයේ නිරත පිරිස් එම රටවල් සමග කිසිදු සබඳතාවක් පවත්වාගෙන යාමට අ‍පොහොසත් වී ඇතැයි ද ඔහු සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිලධාරීන්ට දුරකථනයෙන් කතා කොට විදේශ ප්‍රශ්න විසඳා ගත හැකි බව සඳහන් කළ අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ විදේශ සබඳතා හේතුවෙන් විදේශ ගැටලු රැසක් විසඳා ගැනීමට හැකි වූ බවද ඔහු කීවේය.
විදේශ දූත පිරිස් පත් කිරීමේදී 70ක් විදේශ සේවයෙන්ද, 30ක් ඉන් පිටතින්ද  පත් කරනවා කියන ප්‍රතිපත්තියක් රටේ නොමැති බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඇසූ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  අගමැතිවරයා මේ බව සඳහන් කළේය.