අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයින් සහන සැළසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් මෙන්ම ඇමෙරිකාව ඉන්දියාව ඇතුළු රටවල් රැසක් මේ වනවිට ඉදිරිපත්ව ඇත.

ඒ අනුව ජගත් සංවිධානයට අයත් යුනිසෙෆ් සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය සහ ලෝක ආහාර වැඩසටහන ද මෙසේ සහන සැළසීමට දැනටමත් ඉදිරිපත්ව ඇත

විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර සෙවීම් සහ මුදාගැනීමේ කණ්ඩායමක් මෙරටට එවීමට සැළසුම් කර ඇත

ලෝක සෞඛ්‍ය සංවිධානය ද වෛද්‍ය කණ්ඩායමක් යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

පාකිස්ථානය ද සහනාධාර තොගයක් මෙරටට එවීමට සූදානම් කර ඇති බව ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ්ඛාන් මහතා ප්‍රකාශ කර තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය ද සහන සැළසීමට ඉදිරිපත්ව සිටින බවයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සඳහන් කර ඇත.

මේ අතර සහනාධාර රැගත් තවත් ඉන්දීය නෞකාවක් ඊයේ (28) දිනයේ දිවයිනට පැමිනුන අතර සහනාධාර රැගත් තවත් ඉන්දීය නෞකාවක් අද (29) දිනයේ මෙරටට පැමිණීමට නියමිතයි.