ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම මෙම වසර ඇතුළත අත්සන් තැබීමට සැලසුම් කර ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම ගිවිසුම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර වසර 65කට අධික මිතුදම තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව පවතින බවද කරුණාසේන කොඩිතුවක්කු මහතා .සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ 69 නිදහස් දින සැමරුම නිමිත්තෙන් , චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කරුණාසේන කොඩිතුවක්කු මහතා මෙම අදහස් පළ කළේය.

හම්බන්තොට වරාය අසලදී ඇතිවූ ගැටුම්කාරී සිදුවීම විපක්ෂයේ ඉතා සුළු පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් විපක්ෂයේ එම පිරිස් ක්‍රියා නිසා චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය කිසිඳු අයුරකින් පළුදුවීමට ඉඩ නොතබන බවත් කරුණාසේන කොඩිතුවක්කු මහතා එහිදී ප්‍රකාශ කළේය .