ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකසහිත පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය අනූව ඒ ගැන නීතිපති‍ගේද උපදෙස් බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.

ඇඹිලිපිටියේ පසුගියදා 4දා රාත්‍රී සාදයක් අතරතුර එක්දරු පියෙකු වූ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට චෝදනා ලත් රත්නපුර කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිව සිටි ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්න සහ ඇඹිලිපිටිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂකව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ආර්.ජේ. ඩයස් ඇතුළු සැකකරුවන්  අත්අඩංගුවට ගන්නැයි උසාවිය රහස් පොලීසියට පසුගිය 27දා නියෝග කළ බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ.

මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ චෝදනාලබා සිටින නිලධාරීන් මහේස්ත්‍රාත්වරයා විසින් නාමිකව ප්‍රකාශයට පත් කරමින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝගයක් කළේදැයි නොදන්නා බවයි.

එසේම මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද වෙනමම පරීක්ෂණයක් පවත්වන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එම පරීක්ෂණ ගැන කිසිවක්  හෙළි කළ නොහැකි බවද කියා සිටියේය.

මේ අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ විජිත් ජී පුංචිහේවා මහතාගෙන්ද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා එදින ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු පැවසුවේ මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ  බිරිඳ විසින් මේ සම්බන්ධයෙන් විවෘත උසාවියේදී එදින ප්‍රකාශයක් කළ බවයි.

ඒ.එස්.පී නැමැති නිලධාරියා විසින් සිය සැමියා තල්ලු කළ බවත්, එම අවස්ථාවේ එච්.කිව්.අයි නැමැත්තාද එතැන සිටි බවත්, ඒ වන විට එහි සිටි සෙසු නිලධාරීන්ද ඇයට හඳුනාගත හැකි බවත් විවෘත උසාවියේදී ඇය ප්‍රකාශයක් කළ බව නීතිඥ විජිත් ජී පුංචිහේවා මහතා පැවසීය.

එම ප්‍රකාශයෙන් පසු රජයේ අධිනීතිඥවරයා විසින් ඇයගේ ප්‍රකාශයට අනූව චෝදනාලත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළ බවද පුංචිහේවා මහතා පෙන්වාදුන්නේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා ද අදාළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මෙම සිද්ධියට සැක අය අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝගයක් කළ බව ද ඒ මහතා පැවසීය.

කෙසේ වුවද නියෝගය ලබාදී මේවන තුරු  පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කල්මරමින් සිටින බවත්, ඉන් සිදුවන්නේ පොලිසියේ ප්‍රතිරූපයට හානිවීමත්, නීතියේ ආධිපත්‍යයට කැලලක් සිදුවීමත්, යැයි ඔහු පැවසුවේය.

එසේම මෙම මරණය ගැන නීතිපතිවරයාගේ උපදෙස් පැතීම අනවශ්‍ය බවද, සාමාන්‍යයෙන් පුද්ගල ඝාතනයකදී සැකපිට අයෙකු අත්අඩංගුවට ගැනීමේ බලය පොලීසියට ඇතැයිද විජිත් ජී. පුංචිහේවා මහතා පෙන්වාදුන්නේය.

මෙම සිද්ධියේදී චෝදනාලත් ඒ.එස්.පී හා එච්.කිව්.අයි පොලිස් මූලස්ථානයට මාරු කිරීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ පොලීසියට පොලිස් මූලස්ථානය‍ සොයාගන්න බැරි නිසා වෙන්න ඇතැයි ඒ මහතා උපහාසාත්මක ලෙස ප්‍රකාශ කළේය.