විදේශ දූත මණ්ඩලවලට අනුයුක්තව සිටියදී දේශපාලන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පස්දෙනෙකු ගැන මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  විමර්ශන  ආරම්භ කර තිබේ.

එම විමර්ශනයට අදාළව එම නිලධාරීන්ගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

ඒ අනුව තායිලන්තයේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ හිටපු හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ සහ පකිස්ථානයේ මහකොමසාරිස්වරයෙකු ලෙස  ලෙස කටයුතු කළ හිටපු ගුවන් හමුදාපති ජයලත් වීරක්කොඩි යන මහත්වරුන්ගෙන් පසුගිය 12වනදා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ජපානයේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ ඔස්ට්‍රේලියාවේ මහකොමසාරිස්වරයෙකු ලෙස කටයුතු  කළ හිටපු නාවික හමුදාපතිවරයෙකු වන තිසර සමරසිංහ යන මහත්වරුන්ගෙන් ඊයේ දිනයේදී ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්ය.
අද දිනයේ දී ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් කුමාර විජේසිරි මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.