මෙරට හා ජර්මනිය අතර පුළුල් හා ශක්තිමත් වෙළඳ සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් ජර්මනියේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ජර්මන් චාන්ස්ලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය අතර නිල හමුව ඊයේ දින (17) ජර්මන් වේළාවෙන් පෙ.ව. 10.50ට පමණ ජර්මන් චාන්ස්ලර්වරියගේ නිල කාර්යාලයේදී සිදු විය.

මෙහිදී දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙණු අතර දෙරට අතර ආර්ථික සහ වෙළඳ කරයුතු ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

මෙරට වකුගඩු රෝග නිවාරණය  කරගැනීම සඳහා සහයවන ලෙස ජනාධිපතිතුමා විසින් කල ඉල්ලීමට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ ජර්මන් චාන්ස්ලර්වරිය ජලය පිරිසිදු කිරීමෙ ක්‍රියාවලියට හා වකුගඩු රෝගයට ගොදුරුවීම පිළිබඳව පරීක්ෂන පැවැත්වීමට එරට සහය ලබාදීමට සිය එකඟතාවය පළ කළාය.

තවද ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කල ඉල්ලීම් අතර යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය අපනයන තහනම පිළිබදව හා GSP+ සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීමට  සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටිය අතර එහිදී චාන්ස්ලර්වරිය මත්ස්‍ය තනහනම පිළිබඳව සොයා බැලීමට පත් කර ඇති කමිටු වාර්තාව අනුව ඉදිරි කටයුතු සොයා බලා අවශ්‍ය ඉදිරිපියවර ගන්නා බව වැඩිදුරටත් පවසා සිටියාය.

ශ්‍රී ලංකා සංචාරයක නිරත වන ලෙස ගරු ජනාධිපතිතුමන් විසින් කල ආරාධනාව චාන්ස්ලර්වරිය ඉතා කැමැත්තෙන් පිළිගනු ලැබීය.

මෙම සංචාරය සඳහා මෙරට අමාත්‍යවරුන්වන මංගල සමරවීර, රවී කරුණානායක, මහින්ද සමරසිංහ, දයා ගමගේ, මලික් සමරවික්‍රම හා ජර්මනියේ  ශ්‍රී ලංකා තනාපති කරුණාතිලක අමුණුගම යන මහත්වරුන්ද එක්ව සිටියහ.