ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය මෙරට දියත් කර ඇති ස්වේච්ජා සේවා වැඩසටහනට මේ වනවිට  වසර  35 ක් සපිරී ඇත. විදේශීය රාජ්‍යයන්  මෙරට ක්‍රියාත්මක කර ඇති විවිධාකාර ස්වේච්ජා වැඩසටහන් අතර මෙම ජපාන ස්වේච්ජා සේවා වැඩසටහන කැපී පෙනෙන්නේ ඊටම අනන්‍ය වූ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ සමාජ ආර්ථික සංවර්ධනය මෙම ස්වේච්ජා සේවා වැඩසටහනේ මුලිකම අරමුණ වී ඇති අතර එහිදී බොහෝ දෙනෙකුගේ අවධානයට පාත්‍ර නොවන මෙරට විවිධ අසරණ හා පහල ස්ථරයේ සමාජ කොටස් ආර්ථිකමය ලෙස මෙන්ම ආකල්පමය ලෙසඩ නගා සිටුවීමට “ජයිකා” උත්සාහ ගනිමින් සිටී.

මෙම පියවරයන් හරහා ,ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය වර්ධනය කිරීමත් අවබෝධය ගැඹුරු කිරීමත් ජයිකා ආයතනය සැමවිටම අපේක්ෂා කරයි.

පසුගිය වසර 35 තුල ජයිකා ස්වේච්ජා සේවකයින් 1000කට  අධික පිරිසක් මෙරට විවිධ ප්‍රදේශ වල සේවයේ යෙදී සිට ඇත. දැනටත්  රට පුරා එම  ස්වේච්ජා සේවකයින් 69 දෙනෙකු ක්‍රියාත්මකව සිටින අතර  ඔවුන්ගෙන් 16 දෙනෙකුම ක්‍රියාත්මක වන්නේ  උතුරු හා නැගෙනහිර,  ප්‍රදේශවලය.

ජයිකා ස්වේච්ජා සේවකයෝ සැමවිටම ක්ෂේත්‍ර ගණනාවක උසස් පුහුණුවක් හා සුදුසුකම් ඇති  වෘතිකයින් වෙති. කිසිදු පෞද්ගලික ලභාපෙක්ෂාවකින් තොරව  ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන්ට ඵලදායී ලෙස තම දායකත්වය ලබාදීමට ඔවුන් සැමවිටම කැපවී සිටීම සුවිශේශී කරුනකි.

රත්මලානේ වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාලයේ සිසුදරුවන්ට රොබෝ තාක්ෂනය පිලිබඳ උගන්වන මහතා මොටෝඅකි ෆුචිවාකි ( Motoaki Fuchiwaki) මහතාද මෙවැනි ජයිකා ස්වේච්ජා සේවකයෙකි.  එ මහතා ජපානයේ  තාක්ෂණික ආයතන රැසක ඉහලම නිල තල දරනු ලැබුවෙකි. එසේම ඔහු තාක්ෂණික අංශයෙන් නව නිර්මාන සිදුකර පේටන්ට් බලපත්‍ර තුනකම අයිතිය ලබාගෙන ඇත්තෙකි.

ඔහු අද ජයිකා ජ්‍යෙෂ්ඨ ස්වේච්ජා සේවකයකු ලෙස තම දැනුම හා අත්දැකීම් නොමසුරු ලෙස මෙරට දරු දැරියන් හට ලබාදෙමින් සිටී.

එ මහතාගේ පැමිණීම නිසා වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාලයේ  සිසු සිසුවියන්ට ලැබී ඇති දේ ඉමහත් බව එහි උපකුලපති අචාර්ය  ටී .දයාසිරි මහතා සඳහන් කළේය.

මොටෝඅකි ෆුචිවාකි  මහතා යටතේ රොබෝ තාක්ෂනය ඉගෙනගන්නා ශිෂ්‍යයින් කණ්ඩායම , මෙරට විශ්වවිද්‍යාල අතර පැවැත්වෙන රොබෝ තාක්ෂණ තරඟාවලියෙන් පළමුවන දෙවන හා සිව්වන ස්ථානයද ලබාගැනීමට සමත්ව ඇත.

මෙම ජයග්‍රහණය  සඳහා  මොටෝඅකි ෆුචිවාකි  මහතා සුවිශාල දායකත්වයක් සැපයු බව උපකුලපතිවරයා අප වෙත සඳහන් කළේය .

විශේෂයෙන්ම ෆුචිවාකි  මහතාගේ තාක්ෂණ දැනුමෙන් පමණක් නොව  ඔහු සතු ප්‍රයෝගික අත්දැකීම් හරහාද මෙම සිසු දරුවන් හට විශාල සහයෝගයක් , මගපෙන්වීමක් ලැබෙන බව උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇත්තෙන්ම මෙම ජයිකා ස්වේච්ජා සේවකයින්ගේ විශේෂත්වය වන්නේද එයමය . ඔවුන් ජනතාවට සහය වන්නේ මිල මුදල් වලින් නොව තම දැනුම ශ්‍රමය හා අත්දැකීම් උපයෝගී කරගනිමින්ය .

රත්මලාන වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාලය තුල පමණක් නොව මෙරට ප්‍රදේශ රැසක අධ්‍යාපන ආයතන රැසකම ජයිකා ස්වේච්ජා සේවක සේවිකාවන් කටයුතු කරති . මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට පිඟන් මැටි කර්මාන්ත තාක්ෂනය කියාදෙන්නේද එවැනිම ජයිකා ස්වේච්ජා සේවකයෙකි , ඔහු තම ප්‍රයෝගික දැනුම භාවිතා කරමින් මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු දරුවන්ට විෂය මාලාවට එහා ගිය විසල් දැනුම් සම්භ්හාරයක්  ලබා දෙමින් සිටී.

මෙම ස්වේච්ජා සේවකයින් ලබාදෙනුයේ පොතේ පතේ දැනුම පමණක් නොවන බවත් ඔවුන් අප ජනතාවගේ ආකල්ප සංවර්ධනය සඳහා සුවිශාල වැඩකොටසක් ඉටු කරන බවත් ජයිකා ස්වේච්ජා වැඩසටහනේ ව්‍යාපෘති ප්‍රධානි ශ්‍රියන්ත ගුනතිලක මහතා  පැවසුවේය.

 අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ව්‍යාපෘතියක්  ක්‍රියාත්මක කිරීම සඳහා මෙරටට පැමිණ සිටින  ජයික ස්වේච්ජා වැඩසහන් සාමාජිකයකු මෙවැනිම තවත් කැපී පෙනෙන ප්‍රයෝගික ක්‍රියාකාරකමක් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ආරම්හ කළේය. ඔහු කලේ එම ප්‍රදේශවල ළමා උද්‍යාන වලට ගොස් කුඩා ඇසුරුම් වලට අපද්‍රව්‍ය එකතු කිරීමයි. පසුව ප්‍රදේශයේ ළමුන්ද ඔහුගේ මෙම පවිත්‍රතා වැඩසටහනට එක්විය, , එ ලෙසින් ඔහු ආරම්භ කල ඉතා සරල හා ප්‍රයෝගික දැනුවත් කිරීමේ වැඩසටහන එම ප්‍රදේශය තුල ඉතා සාර්ථකව ක්‍රියාත්මක විය. පසුව ඔහු “කුණු දමන්න එපා “  යන තේමාවෙන් යුක්තව සිංහල ගීතයක්ද නිර්මාණය කොට එය පාසල් වල ගායනා කල අතර එය බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසල් ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය  විය.

තොරතුරු තාක්ෂනය ඉගැන්වීමට මෙරටට පැමිණි තවත් එවැනිම ජයිකා සාමාජිකයෙකු පාරේ යනඑන  අතරේ  පාර දෙපස  කුණු හා අපද්‍රව්‍ය එකතු කර ගෙන යමින් ප්‍රදේශයේ ජනතාවට ආදර්ශයක් ලබාදීමේ සුවිශේෂී කටයුත්තක් ආරම්භ කළේය. අද එම ප්‍රදේශයේ ළමුන් පවා ඔහු හා එක්ව කුණු එකතුකිරීමේ හා අපද්‍රවය කළමනාකරණ වැඩසටහන් වලට එක්ව ඇත.

පෙරපාසල් ක්ෂේත්‍රයටද ජයිකා වෙතින් ලැබෙන්නේ විශාල පිටුවහලකි. ජයික ස්වේච්ජා සේවක සේවිකාවන් දිවයින පුරා පෙරපාසල් වල සේවය කරන අතර අපේ කුඩා දරු දැරියන්ට ඔවුන්ගේ කුසලතා වර්ධනයට සහය  දෙන අතරම මෙරට පෙර පාසල් ගුරුවරුන් ද  දැනුමෙන් හා හැකියාවන්ගෙන් සන්නද්ධ කිරීමට මෙම ජපාන ස්වේච්ජා සේවකයින් කටයුතු කරති .  නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යටතේ ක්‍රියාත්මක පෙර පාසලෙහි කටයුතු කරණා .අරියෝකෝ ඔමුරා මෙනෙවිය   මෙවන් වූ  ජපාන ස්වේච්ජා සේවිකාවකි . 

ලංකාවේ ළමයි දක්ෂයි , ඒවගේම ගුනගරුකයි , නමුත් නව නිර්මාණ කිරීමට පෙළඹීම , නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම වැනි දේ වල යම් අඩු පාඩු තිබෙනවා , එම කුසලතා තවදුරටත් නැංවීම සඳහා මම උපකාර කරනවා” යැයි ඔමුරා මෙනෙවිය අප සමග ඉතා හොඳ සිංහල බසින්ම පැවසුවාය .

ජයිකා ස්වේච්ජා සේවකයින්ගේ ඇති තවත් සුවීශේෂත්වයක් වන්නේ එයයි. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර සිටම මෙරට භාෂාව හා සංස්කෘතිය පිලිබඳ පුහුණුවක් ලබන අතර මෙරටට පැමිණීමෙන් අනතුරුවද තවත් මාස කිහිපයක්ම ඒ පිලිබඳ පුහුණුවක නිරත වේ. එම නිසාම ඔවුන්ට සිංහල භාෂාව පිළිබඳව මෙන්ම සංස්කෘතිය පිළිබඳවද ඇත්තේ හොඳ අවබෝධයකි.

මෙරට පාසල් දරු දැරියන්ගේ ශාරීරික අධ්‍යාපනය නැංවීමටත් විශේෂයෙන්ම එම දරු දැරියන්  ක්‍රීඩාවට යොමු කිරීමටත් ජපාන ස්වේච්ජා සේවකයෝ මේ වනවිට කටයුතු කරමින් .සිටී . මෙරට  ප්‍රදේශ  රැසක , පාසල් රැසක , ජයිකා ස්වේච්ජා ක්‍රීඩා ගුරුවරුන් මෙසේ අපගේ දරු දැරියන්ට ක්‍රීඩා පුහුණුව ලබාදේ .   එසේම අපගේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීමටද මෙම ස්වේච්ජා සේවකයින් දායකත්වය ලබාදීම විශේෂයෙන් සඳහන් කල  යුතු ව ඇත.

බේස් බොල් ක්‍රීඩාව ලංකාව තුල ප්‍රචලිත කිරීමට විශේෂයෙන් ඉවහල් වුයේ මෙම   ජයික සේච්ජා කණ්ඩායමයි  . 2002 වසරේ ජයිකා බේස් බෝල් පුහුණුකරුවෝ මෙරටට පැමිණි අතර ඔවුන්ගේ පුහුණුවීම් යටතේ මේ වනවිට ලෝකයෙන්ම  37 වෙනි ස්ථානයට පත්වීමට අපගේ බේස් බෝල් කණ්ඩායම සමත්ව ඇත.

ජපාන ස්වේච්ජා සේවකයින්ගේ කැපවීම හා උනන්දුව  හේතුවෙන් විශේෂයෙන් මෙරට දරු දැරියන් හා තරුණ පෙළ ලබාගත් ජයග්‍රහණ තවත් රාශියකි. මෙම ස්වේච්ජා සේවකයකු මෙරට  රැදී සිටිනුයේ වසර දෙකක පමණ කෙටි කාලයක් වුවද එම කාලය තුල ඔවුන් තම දැනුම හා අත්දැකීම්   තුලින් , එම කාලය තුල සිදු කරන සේවාව ඇති මහත්ය .

මේ නිසාම ජපාන මුලිකත්වයෙන් මෙරට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති , හා වැඩසටහන් අතරින් ,  අතිශය වැඩදායී හා ප්‍රතිඵල දායක වැඩසටහනක් ලෙස ,  ජපානයේ ද්වීපාර්ශවීය නිල සංවර්ධන ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ආයතනය වන ජයිකා මගින් දියත් කර ඇති මෙම ස්වේච්ජා වැඩසටහන හැඳින්විය හැක.

මෙම වැඩසටහනේ සාර්ථකත්වය , දෙරටේ මිත්‍රත්වය හා ද්විපාර්ශවික සබඳතාවන්ද දිනෙන් දින වඩ වඩාත් ශක්තිමත් කරන බවද කිවයුතුමය.

Flickr Album Gallery Powered By: WP Frank